පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ගරු සිරිල් ගාමිණී පියතුමා සැබවින්ම පෙනී සිටින්නේ වින්දිතයන් වෙනුවෙන්ද, නැතිනම් ප්‍රහාරකයන් වෙනුවෙන්ද යන්න පිළිබඳව තාර්කික සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (22) පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී සිරිල් ගාමිණී පියතුමා වෙත සෘජු ප්‍රශ්න 10ක් යොමු කිරීමටද කටයුතු කළේය.
ප්‍රශ්න අංක 1:
ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායක් තියෙනවා. මේ කුමන්ත්‍රණ න්‍යාය අනුව තමයි ජෝන් එෆ්. කෙනඩි ඇමරිකානු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සැකය උපජනාධිපති ලින්ඩන් ජොන්සන්ට එල්ල වුණෙත්, ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ සැකය වැඩබලන අගමැති ඩබ්ලිව්. දහනායක මැතිතුමාට එල්ල වුණෙත්, ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමා අතුරුදන් වීමේ සැකය අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමාට එල්ල වුණේ.
එතකොට මේ ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන කුමන්ත්‍රණ න්‍යාය යොදා ගනිමින් තමයි 2019 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස බිඳවැටීමෙන්, 2019 ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිමිකරගත්තාය කියන පදනමෙන් තමයි සිරිල් ගාමිණී පියතුමන්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට සැකය එල්ල කරන්නේ.
හැබැයි අපි හොඳටම දන්නවා 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව 42%ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%ක් ඡන්ද ප්‍රතිශත ලබාගත්ත නිසා ජනාධිපතිවරණයට යනකොටත් ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ සහාය ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 56%ක ඡන්ද බැංකුවක් සහිතවයි හිටියේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණේ නැහැ. වැඩිපුරත් එක්ක ඡන්ද තිබුණා.
ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන්ලා කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභියෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න බැහැ. හැබැයි මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. ඇත්තෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන්දිනය යෙදී තිබුණු නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයගෙන් ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. සේවා දිගුවන් ලබාගෙන තිබෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්. එහෙමනම් ප්‍රතිලාභියා අපරාධකරුවා වේ කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවානම් සිරිල් ගාමිණී පියතුමන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි?
ප්‍රශ්න අංක 2:
2021 ඔක්තෝම්බර් 13 වනදා වීඩියෝ තාක්ෂණයේ සහායෙන් පැවැත්වුණු ප්‍රසිද්ධ සාකච්ඡාවකදී, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමාය කියලා සිරිල් ගාමිණී පියතුමා පවසනවා. මේ ප්‍රකාශය සිදුකරන්නේ අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාව හරහා සුරේෂ් සලේ මැතිතුමාට චෝදනා එල්ල කරන්න වසර දෙකකට පෙරයි. එහෙනම් සිරිල් ගාමිණී පියතුමනි, සුරේෂ් සලේ මැතිතුමා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු බවට 2021 ඔක්තෝම්බර් 13 වන දින ඔබ වීඩියෝ තාක්ෂණයෙන් පැවති රැස්වීමේදී ප්‍රකාශ කිරීමට පදනම් කරගත්ත සාක්ෂි රට ඉදිරියේ ප්‍රසිද්ධ කරනවාද? නොකරන්නේ නම් ඒ මන්ද?
ප්‍රශ්න අංක 3:
විපක්ෂයේ සමහර දේශපාලකයින් විමර්ශන කඩාකප්පල් කිරීමට කටයුතු කරනවාය, විමර්ශන නැවැත්වීමට බලපෑම් කරනවාය කියලා ඔබතුමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. පාස්කු විමර්ශන නැවැත්විය යුතුය හෝ සුරේෂ් සලේ මැතිතුමාට එරෙහිව කරන විමර්ශන නැවැත්විය යුතුය කියලා විපක්ෂයේ දේශපාලකයෙක් කියනවා අපිටනම් ඇහිලා නැහැ. ඒ නිසා පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ දේශපාලකයන්ගේ නම් මොනවාද?
ප්‍රශ්න අංක 4:
මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමා ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලීසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. යම් විමර්ශනයක සැකකරුවෙකුට එම විමර්ශනයට සහාය දෙනමෙන් බලකිරීම නීති විරෝධී බව ඔබතුමා දන්නවාද?
ප්‍රශ්න අංක 5:
රහස් පොලීසිය විසින් සුරේෂ් සලේ මැතිතුමාට අමානුෂික ආකාරයට සලකා ඇති බව මේ වන විට අධිකරණ වෛද්‍ය වාර්තාවෙනුත්, මානව හිමිකම් කොමිසම විසින් සිදුකරන විමර්ශනයෙනුත් තහවුරු වී තිබෙනවා. එවැනි පසුබිමක මේ අමානුෂික සැලකීම්වලට එරෙහිව අප හඬ නගන විට, ඔබතුමා මාධ්‍ය හමු පවත්වමින් ඒ අමානුෂික සැලකීම් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ජේසු සමිඳාණන්ගේ ප්‍රේමයේ පණිවිඩයට එකඟද කියලා අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රශ්න කරනවා.
ප්‍රශ්න අංක 6:
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් රහස් පොලීසියේ අධ්‍යක්ෂක තනතුරෙන් ශානි අබේසේකර මහතාව ඉවත් කළ බව දනිමින්, විමර්ශනය කලින් කළ අයටම විමර්ශනය යළි භාරදෙන්නැයි ඔබතුමා ඉල්ලා සිටින විට නැවත රහස් පොලීසියේ අධ්‍යක්ෂක වන්නේ පාස්කු ප්‍රහාරයේ චුදිතයෙකු වී සිටින ශානි අබේසේකර මහතාම බව ඔබ නොදැන සිටියාද?
ප්‍රශ්න අංක 7:
සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ප්‍රහාරය සිදුකරන බවට බුද්ධි අංශවලින් තොරතුරු ලබාදී තිබියදී, සහරාන්ලාට එරෙහිව කටයුතු නොකිරීම පිළිබඳ අපරාධමය නඩු පැවරීම් කළ යුතු බවට විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. අල්විස් ජනාධිපති විමර්ශන කමිටුවෙන් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මහතුන්ට එරෙහිව නිර්දේශයන් ඉදිරිපත් කර තිබියදීත්, ඔවුන්ට ඒ තනතුරු යළි ලබාදීමට ආණ්ඩුවට බලපෑම් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට සැඟවීමට යමක් තිබෙන නිසාද? එසේ නොවේ නම් එවැනි ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්ද?
ප්‍රශ්න අංක 8:
ප්‍රහාරය සිදුකළ අවස්ථාවේ රහස් පොලීසියේ ප්‍රධාන තනතුරු දැරූ රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතාට යළිත් විමර්ශනය භාරදීමට කරපු ඉල්ලීමත්, එවකට නැගෙනහිර ආඥාපති තනතුරේ හිටිය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකමෙන් ඉවත් කිරීමට ඉල්ලීමත් කියන මේ ඉල්ලීම් දෙක එකිනෙකට පරස්පර බව ඔබතුමා පිළිගන්නවාද? මොකද තනතුරු දැරුවා දෙගොල්ලොම. එක පිරිසක් ඒ තනතුරුවලටම පත්කරන්න කියනවා, තව කෙනෙක්ව පත්වෙලා ඉන්න තනතුරෙනුත් ඉවත් කරන්න කියනවා. එක්කෝ ඔක්කොම ඉවත් කරන්න කියන්න ඕනේ, එක්කෝ ඔක්කොම තියාගන්න ඕනේ. එතන බරපතල පරස්පරයක් මතුවෙනවා. පරස්පර බව පිළිගන්නවාද? නොඑසේ නම් ඒ මන්ද?
ප්‍රශ්න අංක 9:
2024 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවකදී සිරිල් ගාමිණී පියතුමා මහා මොළකරු වෙන් කවුරුවත් නොව අබුහින්ද් කියලා ප්‍රකාශ කරනවා. අර වීඩියෝ තාක්ෂණයෙන් තිබ්බ රැස්වීමේදී එතුමාත්, ඒ වගේම චැනල් 4 නාලිකාව හරහා අසාද් මවුලානාත් මහා මොළකරු සුරේෂ් සලේ කියලා ප්‍රකාශ කරලා ඉවරයි. එහෙම තිබියදීම එතුමා කියනවා අබුහින්ද් කියලා. එතකොට දැන් නැවත මහා මොළකරු සුරේෂ් සලේ කියනවා. අපි එතුමාගෙන් අහනවා, සිරිල් ගාමිණී පියතුමනි, මුලින්ම මහා මොළකරු සුරේෂ් සලේ බවටත්, නැවත මහා මොළකරු අබුහින්ද් බවටත්, නැවත මහා මොළකරු සුරේෂ් සලේ බවටත් වරින් වර මහා මොළකරුවා මාරු කිරීමට බලපෑ හේතු මොනවාද?
ප්‍රශ්න අංක 10:
අබුහින්ද් මහා මොළකරු බවට ඔබතුමා සතු තොරතුරු ඔබතුමා මේ වන විට විමර්ශකයන්ට භාරදී තිබේද? නොඑසේ නම් ඒ මන්ද? යනුවෙන් ඔහු විමසා සිටියේය.
සිරිල් ගාමිණී පියතුමාගෙන් ඇසීමට තමන්ට ප්‍රශ්න 37ක් ඇති බවත්, මුලින්ම මෙම ප්‍රශ්න 10 සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවත් පැවසූ ගම්මන්පිල මහතා, පියතුමා මින් මඟහැරියහොත් මීළඟ මාධ්‍ය හමුවේදී මෙම ප්‍රශ්න එතුමාගෙන් අනිවාර්යයෙන්ම විමසන ලෙස මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය.
