කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
මේ වන විටත් කාදිනල්තුමාගේ නීතිඥවරුන් විසින් ඊට අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි පියතුමා සඳහන් කළේ.
පසුගිය ජූලි 10 වනදා හෝ ඊට ආසන්න දිනක පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව සිදුකර තිබෙනවා. එහිදී චාමර සම්පත් මහතා පවසා ඇත්තේ, පසුගිය ජූලි 02 වැනිදා ශ්‍රී ලංකා හමුදාපතිවරයා පලතුරු කූඩයක් ද රැගෙන කාදිනල්තුමාගේ නිවසට ගිය බවත්, එහිදී හමුදාපතිවරයාගේ ධුර කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටි බවත්ය.
කෙසේ වෙතත් කාදිනල් අගරදගුරු කාර්යාලය මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටිනවා. වතිකානයේ පැවැති සමුළුවකට සහභාගි වී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත ලංකාවට පැමිණ ඇත්තේ ජූලි 03 වැනිදා බැවින්, මන්ත්‍රීවරයා පවසන ආකාරයේ කිසිදු හමුවීමක් සිදුනොවූ බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
