2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ අයදුම්පත් කැඳවීම ජූලි මස 03 වැනිදා සිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම අයදුම්පත් භාරගැනීම එළැඹෙන ජූලි මස 23 වැනිදා දක්වා සිදුකෙරෙනු ඇති.
ඒ අනුව, සියලුම පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරුන් හරහා අයදුම්පත් යොමුකළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව මාර්ගගතව අයදුම් කළ යුතු වනවා.
පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී අනිවාර්යයෙන්ම තම ජාතික හැඳුනුම්පත භාවිත කළ යුතුයි. යම් හෙයකින් ජාතික හැඳුනුම්පතක් නොමැති අයදුම්කරුවෙකු වේ නම්, ඔවුන් සිය භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් ලියාපදිංචි වීමට පියවර ගත යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිසීමෙන් තම අයදුම්පත් යොමු කිරීමේ කටයුතු සිදු කළ හැකියි.
