හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා අද උදෑසන වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
පොලිසිය නිකුත් කළ නිල නිවේදනයට අනුව, ඒ මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිස් ස්ථානය එක්ව සිදු කරනු ලබන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මිය යන විට 63 වන වියේ පසු වූ සී.ඩී. වික්රමරත්න මහතා ශ්රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. ඒ මහතා 2020 වසරේ නොවැම්බර් 27 වනදා සිට 2023 වසරේ නොවැම්බර් 23 වනදා දක්වා එම ධුරයේ රාජකාරි සිදු කරනු ලැබුවා.

