එල්නිනෝ සහ ලානිනා සංසිද්ධීන් හමුවේ, ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, සංසදය එහි සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්රමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
නියඟ තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ලවීම මෙන්ම, ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එකී ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සිහිපත් කර තිබෙනවා.
ඉදිරියේදී ඇති විය හැකි “එල්නිනෝ” තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කර තිබෙනවා.
