හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහතා අද (03) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම නිවේදනය කළේ 2006 වසරේදී සිදු වූ බව කියන දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් කොමිෂන් සභා පරිශ්‍රයේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ, එතෙක් පැවති සම්මත ක්‍රමවේදයට පරිබාහිරව රජයේ මුදල් වියදම් කරමින් ඔහුව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී කරවීම යන කරුණු මත මෙම දූෂණ චෝදනාව එල්ල වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

