වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් ‘සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (24) නිල වශයෙන් භාර දී තිබෙනවා.

ඒ අනුව, දරුවන් අන්තර්ජාලය ඔස්සේ හානිකර අන්තර්ගතයන් සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම වැළැක්වීම සහ සමාජ මාධ්‍ය මෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා රෙගුලාසි හඳුන්වාදීම මෙහි අරමුණ බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සේවා සපයන්නන් හට, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ ප්‍රවේශය වැළැක්වීමට සහ වයස් සීමාවන්ට යටත් පරිශීලකයන් සඳහා සීමාවන් පැනවීමට සිදු වනු ඇති අතර, දරුවන්ට ඇතැම් අන්තර්ජාල සේවාවන් භාවිත කළ හැකි කාල සීමාවන් සහ දවසේ කුමන වේලාවන් හිදී ඒවාට පිවිසිය හැකි ද යන්න සීමා කිරීමට ද මෙම පනත මඟින් අවස්ථාව සැලසෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම සීමාවන් බලාත්මක කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වේදිකාවලට අවශ්‍ය රෙගුලාසි හඳුන්වා දීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරෙනවා. 

මීට අමතරව, මෙම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, පැමිණිලි භාර ගැනීම, විමර්ශන පැවැත්වීම සහ නීතිය බලාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයකු පත් කිරීමට ද පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *