පොසොන් මංගල්‍යය වෙනුවෙන් ආරම්භ කළ විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද (30) දිනයේදීත් එලෙසම ක්‍රියාත්මක වන බව බලධාරීන් පවසනවා. අනුරාධපුරය සහ මිහින්තලය වන්දනාමාන කිරීමට ගිය බැතිමතුන්ට කිසිදු අපහසුවකින් තොරව නැවත සිය ගම්බිම් බලා යාම සඳහා මෙම පහසුකම් සලසා තිබෙනවා.
මෙම ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව කටයුතු කිරීම විශේෂත්වයක්.
අනුරාධපුරය සහ මිහින්තලය පුදබිම් වල සිට කොළඹ ඇතුළු සෙසු ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ යොදවා ඇති අතර, මගී තදබදය අවම කිරීම සඳහා එම බස් රථවල ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව, සාමාන්‍ය දෛනික දුම්රිය ගමන් වාරවලට පරිබාහිරව අනුරාධපුරයේ සිට විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
