2011 වසරේ යාපනයේදී දේශපාලන ක්රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online) ක්රමය ඔස්සේ සාක්ෂි ලබා දෙන ලදී. මෙම නඩුව යාපනය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන අතර, පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් යාපනය අධිකරණයේ සිට අදාළ සාක්ෂි මෙහෙයවීම සිදු කර තිබේ.
අදාළ සිදුවීමට බොහෝ කාලයක් ගතවී ඇති බැවින් තමාට ඒ පිළිබඳව නිශ්චිත මතකයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කර ඇත. එසේම, පැහැරගැනීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් හමුදාවට සහ බුද්ධි අංශවලට එල්ල වන චෝදනා හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම සහ රටේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් ගොනු කරන ලද ඒවා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
2011 දෙසැම්බර් 09 වැනිදා ලලිත් සහ කුගන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබූ අතර, ඔවුන් ජීවතුන් අතර සිටින බවට එවකට රජයේ මාධ්ය ප්රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්රකාශයක් පදනම් කරගනිමින් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම නඩුව සඳහා නොතීසි නිකුත් කර තිබුණි. ආරක්ෂක හේතූන් මත දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටීම මගහරිමින් සිටි ඔහුට, ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීමකට අනුව පසුගිය ජූනි 2 වැනිදා මාර්ගගතව සාක්ෂි දීමට අධිකරණයෙන් අවසර හිමිවිය.
